ගොඩනැගිල්ලකට පිවිසෙන දොරටුවෙහි පියගැටපෙල ආරම්භයෙහි දක්නට ලැබෙන අඩ සඳක් වැනි ගල සඳකඩ පහන යැයි කියනු ලැබේ .මෙය ගොඩනැගිල්ලකට පිවිසීමේදී පය පිස දැමීම සඳහා භාවිතා කරයි. මෙය ඇතැම් ස්ථාන වල අඩ සඳක් වැනි ගලක් පමණක් ඇති අතර තවත් ස්ථාන වල කැටයම් යොදා කලාත්මක බවින් වැඩි නිර්මාණයක් ලෙස දක්නට ඇත.
සඳකඩ පහනෙහි පිටත සිට ඇතුලට යන සේ බැලූ විට පිලිවෙලින් ගිනිදැල් ,ඇතා, අශ්වයා , ගවයා, සිංහයා යන සත්ව රූපද ඉන්පසු සංකීර්ණ ලියවැල, හංස පෙල, සරල ලියවැල ද වශයෙන් වේ. මෙම සංකේත වලට යම්කිසි තේරුමක්ද ඇති බව බොහෝ උගතුන්ගේ මතයයි. සෙනරත් පරනවිතාණ මහතා පවසන ආකාරයට සමස්ථ සඳකඩ පහනෙන් දැක්වෙන්නේ සංසාරයෙන් එතෙර වීමයි. එයට අනුව ගිනිදැල් වලින් කෙලෙසුන්ද,සතුන් සතර දෙනාගෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සතර බියද සංකීර්ණ ලියවැලෙන් තණ්හාවද, හංස පෙල මඟින් සසර බියෙන් මිදී නිවන කරා යන සත්වයාද, සරල ලියවැලෙන් තුනී වූ තණ්හාවද , නෙලුම් මලෙන් සසරින් එතෙර වීමද නිරූපණය වේ.
සෙනරත් පරණවිතාන මහතාගේ අර්ථකතනයට අනුව එවන් නිර්මාණයක් පයට පෑගෙන ස්ථානයක තැබීම පිලිබඳ යම් සැකයක් මතු වේ.එම නිසා පොලොන්නරු යුගයේදී හින්දු ආගමික බලපෑම් මත ගව රූපය සඳකඩ පහනෙන් ඉවත් කොට ඇත.දැනට අප රටින් සොයාගත් අගනාම සඳකඩ පහන් අතරින් අනුරාධපුර බිසෝ මාලිගය අසල පවතින සඳකඩ පහනට ප්‍රධාන තැනක් හිමි වේ.සඳකඩ පහන සිංහල කැටයම් කලාවේ අගනා නිර්මාණයකි.

